ඔන්න මම අළුත් වැඩකට මුලපුරන්නයි යන්න හදන්නෙ. මේකට නම් මමත් තාම අළුත්. ස්වයං අධ්‍යයනය කරමින් ඉගෙන ගනිමින් තමා ඉන්නෙ. ඒ අතරතුර මම ඉගෙන ගන්න දේවල් සිංහලෙන් බෙදාහදා ගැනීමට කැමතියි. මම හිතන්නෙ එය මගේ දැනුම තවත් වැඩිඩියුණු කිරීමට මෙන්ම උනන්දුවක් දක්වන අයටත් රුකුලක් වෙයි කියා. හොඳයි මම කරන්න යන්නෙ Microsoft ASP.NET භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමටයි. ඉතාමත්ම ආධුනික මට්ටමෙන් තමා වැඩේ පටන් ගන්න යන්නේ. සමහර වෙලාවට තාක්ෂණික අඩුපාඩු ගැටළු ඇතිවෙන්න පුළුවන්. එවන් අවස්ථාවල එම අත්දැකීමද විස්තර කරමි. මෙය බොහෝ වෙලාවට මා ආධුනිකයෙකු ලෙස අධ්‍යනය කරමින් ඉදිරිපත් කරන්නක් බැවින් තාක්ෂණික කරුණු පිළිබඳව සෑහීමකට පත්නොවිය හැකි අවස්ථා තිබිය හැකි බැවින් ප්‍රථමයෙන් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමි. හොඳයි අපි දැන් බලමු මොකක්ද මේ ASP.NET කියන්නෙ කියලා.
සරලව කිව්වොත් ASP.NET කියන්නෙ නවීන සහ බලගතු Dynamic වෙබ් අඩවි සංවර්ධන framework එකක්. මෙය Microsoft .NET Framework මත පදනම්ව වෙබ් මෘදුකාංග සහ යෙදුම් සංවර්ධනය සඳහා යොදාගනු ලබන Server-side තාක්ෂණයකි. එතකොට මොකක්ද මේ server-side කියන්නෙ? Server-side කියන්නෙ මෙම තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නෙ Web server එකක් තුලයි. HTML, JavaScript, CSS (Cascade Style Sheets) වැනි තාක්ෂණයන් ගතහොත් ඒවා Client-side ඒවා වේ. එනම් Client-side හිදී සරලව සිදුවන්නේ වෙබ් බ්‍රවුසරය මගින් ඉල්ලීම් කරනු ලබන වෙබ් පිටුවට අදාල ගොනුව වෙබ් සර්වර් එක මගින් වෙබ් බ්‍රවුසරය වෙත යොමු කිරීමයි. මෙහිදී අදාල ගොනුව වෙබ් සර්වර් එක මගින් කියවීමක් සිදු කරනු ලබන්නේ නැහැ. ගොනුවෙහි එනම් වෙබ් පිටුවෙහි කේත බ්‍රවුසරය මගින් render කිරීමක් සිදුවෙනවා හැර වෙබ් සර්වර් එක එහි කිසිදු දෙයක් කියවා තේරුම් ගැනීම හෝ සැකසීමකට භාජනය කරනු නොලබයි. මෙහිදී Client සියල්ලක් සඳහාම වගකියනු ලබයි.
නමුත් Server-side හිදී client විසින් කේත කියවා තේරුම් ගැනීම වෙනුවට බ්‍රවුසරය මගින් ඉල්ලුම් කරනු ලැබූ පිටුවට අදාල ගොනුව වෙබ් සර්වර් එක විසින් කියවා තේරුම් ගෙන අනතුරුව එය HTML, JavaScript, CSS බවට පත්කොට වෙබ් බ්‍රවුසරයට යවනු ලැබේ. ASP.NET මගින්ද සිදු කරනු ලබන්නේ මේ ක්‍රියාවලියයි.
පහත රූප සටහන දෙස බැලීමෙන් අවබෝධයක් ලබාගත හැකිය.

මෙහි ප්‍රධාන පාර්ශවයන් තුනකි.
1. පරිශීලකයා (User)
වෙබ් සරවරය හා කටයුතු සිදුකරනු ලබන්නා වේ. මෙහිදී කටයුත්ත ආරම්භ කිරීම හා හා එහි ප්‍රතිඵලය ලැබෙන්නේද මොහුටමය. හෙතෙම Web client software එකක් මගින් තම කටයුත්ත ක්‍රියාත්මක කරයි.
2. වෙබ් සේවාදායකය (Web client)
මෙය වෙබ් සර්වරය හා කටයුතු සිදුකරගනු ලබන මෘදුකාංගයයි. බොහෝ විට මෙය වෙබ් බ්‍රවුසරය වේ, උදා: Internet Explorer, Mozilla Firefox
3. වෙබ් සරවරය (Web server)
මෙය වෙබ් මෘදුකාංග වැඩසටහන ඇති සර්වර් එක වේ. උදාහරණයක් ලෙස ASP.NET අඩංගු සර්වර් එකයි. මෙමගින් වෙබ් සේවාදායකය (Web client) මගින් කරනු ලබන ඉල්ලීම සැකසීම සිදුකරනු ලබයි.
ඉහත Server-side technology ගැන සඳහන් කල කරුණු ASP.NET සඳහා පමණක් නොව ඕනෑම server-side language එකක් ක්‍රියාත්මක වන ආකාරය ගැන වේ. PHP, Perl, CGI, ASP, JSP, Ruby on Rails, Cold Fusion ද server-side පරිගණක වැඩසටහන්කරණ භාෂා වේ. මා මේ බ්ලොග් ලියන වර්ඩ්ප්‍රෙස් (Wordpress) එකද PHP වලින් සැකසුණු server-side මෘදුකාංගයකි. හොඳයි අපි දැන් ආයෙත් එමු ASP.NET වලට.
ASP.NET මගින් ම්යික්‍රොසොෆ්ට් වින්ඩෝස් මත පදනම් වුණු විවිධ පරිගණක භාෂා මගින් වෙබ් යෙදුම් ලියන්න පුළුවන්. ඒ කොහොමද? ASP.NET පදනම්ව අත්තේ Microsoft .NET Framework මතයි. එය සියළුම වින්ඩෝස් desktop යෙදුම්, වෙබ් යෙදුම් (web applications), වෙබ් සේවා (web services) ගොඩනැගීමට ඇති තාක්ෂණයන්ගේ එකතුවක් කිව්වොත් නිවැරදියි. පරිගණක භාෂා 40 කටත් වඩා සමග කටයුතු කල හැකි මේ සියල්ලන්ගේම එකතුවක් තනි යෙදුමක් ලෙස Microsoft .NET Framework අපිට හඳුන්වන්න පුළුවන්. මෙහිදී අපට ASP.NET භාවිතයෙන් වෙබ් අඩවි සැදීම සඳහා ඉතා බහුලව භාවිතා වන පරිගණක භාෂා දෙකක් වේ. එනම් C# (මෙය ව්‍යවහාරයේදී C Sharp ලෙස හඳුන්වයි.) සහ Visual Basic වේ. හොඳයි ඊළඟ ලිපියෙන් අපි බලමු ASP.NET භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග සහ ඒවා ස්ථාපිත කරගන්නා ආකාරය ගැන. මතු සබැඳි...