සමහර විට ඔබට හිතෙනව ඇති මට මොකද හිංගලෙන් බ්ලොග් එකක් දාගන්න හිතුනෙ කියල. අනේ ඉතින් මම මුලින්ම කැම්පස් සිලෙක් වෙලා ගියපු පලවෙනි දවසෙම තේරුනේ නම් හිංගල බාසාව කිසිම වැදගම්මක් නැති බාසාවක් කියලයි, මොකද නගරෙන් කැම්පස් ආපු ඔක්කොම බොහොම උජාරුවට කඩ්ඩ දානකොට අපට ඉතිං අපේ කම ගැන පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම හීනමානයක් ඇති වුනා. අපටත් හිතුන අපටත් එහෙම සට පට ගාල කඩ්ඩ ව්දින්න පුලුවන් වුනා නම් කියලා. ඒත් මුලින් එහෙම හිතුනත් පස්සෙ වැටහුනු දේ තමයි අපි ලැජ්ජ වෙන්න ඕන ඉංගිරිස් බැරි වීම ගැන නෙමෙයි, සිංහල හරි හැටි හසුරුවා ගන්ට බැරි උනොත් තමයි කියලා.
සරසවියෙ ඉන්නකොට නම් මුලින් මේ තරම් බයවුනු කඩ්ඩට නම් දැන් පොඩ්ඩක්වත් බය නෑ. හෝඩියෙ පන්තියෙ ඉඳලා අපි කඩ්ඩ ඉගෙන ගන්නව නොවැ, ඒත් අපට කොලඹ කලු සුද්දන්ට වඩා ඉංගිරිස් බැරි උනේ කොතනද? හේතුව තමයි කොච්චර ඉගෙනගත්තත් භාෂාවකට දිව හීලෑ කොරගන්ට නම් ඒ භාෂාව ප්‍රායෝගිකව භාවිතා කල යුතුයි. ගමේ අපි ගෙදරදි නම් කවදාවත් පුලුවන් උනත් ගෙදරදි කඩ්ඩ පාවිච්චි කොරන්නෙ නැහැ නොව, ඉතින් පුලුවන් අයට ඊර්ශ්‍යා කිරීමෙන් ඇති ඵලයක් නැහැ. අපිත් මේ හුරුව ඇති කරගත යුතුයි. ඒකට යහලු මිත්‍රයන් සමඟ වුවද ගෙදරදොරේ වුවද ලැජ්ජ නොවී හැකි තරමින් භාෂාව කැඩි කැඩි හරි කමක් නෑ පාවිච්චි කල යුතුයි. ඒක නිසා අපි කඩුව මලකඩ කාල යන්න ඉඩ නොදී ඒක හොඳට මුවහත් කොරගෙන අවශ්‍ය තැනදි පාවිච්චි කල යුතුයි. හා හා දැන් මම මතෘකාවෙන් පිට පනිනව වගෙ දැනෙනවා නේද? ඇයි මම හිංගල බ්ලොග් එකක් දාගෙන ඉංගිරිස් ගැන කියවන්නෙ නේද? විශ්වීය භාෂාවක් ලෙස අපට ඉංග්‍රීසි වැදගත් වෙනවා තමයි, ඒත් මොහොතක් හදවතටම පොඩ්ඩක් තට්ටු කොරල ඇහුවම හිතුනා ඇයි අපි අපේ භාෂාවට දෙන ස්ථානය දෙවැනිකොට සලකන්නෙ. ඉතාම සතුටුදායකයි අද වෙනකොට අපේ මව් භාෂාව බොහෝ තැන්වල භාවිතා වෙනව දැකගත හැකියි. අන්තර්ජාලයේ මෙන්ම මෙහෙයුම් පද්ධති තුලද ඉතාමත් සාර්ථකව සිංහල දැන් භාවිතා වෙනව. ඉතින් කවුරු කොහොම කෙසේ කිව්වත් සිංහල තමයි අදටත් අපිට හුරු හොඳම බාසාව. අපි ලෝකලයිස් වෙන්න අවශ්‍යයි. අපේ අනන්‍යතාවය ලෝකයට ගෙනහැරපානවටම වඩා ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම හරියකට තේරෙන සිංහලය අපිට බොහෝ තැන්වල යොදාගන්න පුලුවන් නම් ඒක මොනතරම් වටිනවද කියල මටම තේරුනා. ඒක නිසා තමයි හිංගල වෙබ් ලොග් එකකට මුල පිරුවේ.