මම මේ කියන්නට සැරසෙන්නේ ගොඩාක් දෙනෙකුට විඳීමට සිදුවන අපහසුතාවයක් ගැනයි. මා මේ ගැන අවධානයක් යොමු කිරීමට සිත් වුයේ මුහුඩුබඩ මාර්ගයේ ආපනශාලා ගැන කථා කිරීමට නොව හුදෙක් මගියාට සිදුවන අපහසුතා ගැන කථා කිරීමටයි. දකුණු පලාතේ මාතර, ගාල්ල, අකුරැස්ස, දෙනියාය, තංගල්ල වැනි දුර ගමනාන්තයන්හි යෙදෙන බස් රථ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව බොහෝ විට මාතර, අකුරැස්ස, දෙනියාය බලා ධාවනය වන බස් රථ අම්බලන්ගොඩ හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශයක තේ පානය සඳහා බස් රථය නතර කරනු ලබයි. මෙම නතර කරනු ලබන ආපනශාලා වල පිරිසිදු බව ගතහොත් ඒ අවට නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වනු ඇත. අහාර අනුභව කිරීමට තියා අඩියක් වත් පා තැබීමට නොහිතෙන මෙම ස්ථානවල බස් රථය නතර කෙරෙන්නේ හුදෙක් රියදුරුගේ හෝ කොන්දොස්තරගේ අභිමතය පරිදිය. ඔවුන් දෛනිකව නිති පතා තමා තෝරාගත් ආපනශාලාවෙහි පමණක් යන එන ගමන් වාර වලදී තේ පානය සඳහා බස් රථය නතර කරන්නේ මගීන්ගේ තේ පානය කිරීමේ අවශ්‍යතාවය සපරනුවස් සඳහා සිතේ පහල වුණු අවංක අනුකම්පාව පමණක් නිසා නොව මගීන් කන්දරාවක් අහාර සහ පාන මිලදී ගැනුම සඳහා ආපනශාලාව වෙත ගෙන ඒම වෙනුවෙන් ආපනශාල හිමිකරුකරුගෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර තැනට ලැබෙන සන්තෝෂම් නිසා බව කිව යුතුය.
මෙහිදී ඔවුනට ලැබෙන සන්තෝෂම් ගැන අපට කථා කිරීමට වැඩක් නැත. ඔවුන් එසේ ගත්තා වුවද අපේ අමනාපයක් නොමැත. නමුදු එම ආපනශාලා හිමිකරුවන් සලසන සේවය ගැන සෑහීමකට පත් විය නොහැකිය. පිරිසිදු බව අන්තය මැස්සො ගහන අහාර අධික මිලගනන් වලට විකුනණු ලබයි. පානීය ජලය නොමැත. තිබුනත් බීමට සුදුසු නැත. අවම වශයෙන් ප්ලේන්ටියක් හෝ අධි මිලට බීම බෝතලයක් ලබාගත යුතුය. මුදල් ගෙවීමේදී මාරු සල්ලි පමණක් දිය යුතුය. නැතිනම් අහාර ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාද ඇත. බස් රථයක් පැමිණෙන විට ආපනශාලා හිමිකරුට නිකන්ම පාරිභෝගිකයන් පිරිසක් ඔවුන් වෙත ලැබේ. බලෙන්ම මගීන් ඔවුන් වෙත ගෙනත් අතඇරියා වගේය. මිල ගනන්ද පිරිසිදු බවද නොතකා මගීන්ට එම ස්ථානයෙන් අහාර ගැනීමට සිදුවන්නේ අහල පහල සිටින මැස්සන්ද අතින් පයින් එලවමිනි. හුදෙක් බඩු විකිණීමක් විනා සේවාවක් හරි හැටි නොසපයන මෙවැනි ස්ථානවලින් රියදුරු සහ කොන්දොස්තර තැනට කිසිදු ගාස්තුවකින් තොරව අහාරපාන හිතූ මනාපෙට ලබාගත හැකිය. උත්සව සමයන්හිදී ආපනශාල හිමිකරුගෙන් තෑගි පවා මොවුන්ට ලැබෙන බව නොරහසකි. ඒ සියලු දෙයක් කම් නැත හොඳ සේවාවක් සපයන පිරිසිදු අහාර ඇති තැනක බස් රථය නවත්වනවානම්. එවැනි ස්ථාන වලට බලෙන් මිනිස්සු රැගෙන යායුතු නැත, එම නිසා එවැනි පිරිසිදු ආපනශාල වලට කොතෙකුත් මිනිසුන් පැමිණෙන නිසා වෙනම මගීන් රැගෙන ඒම වෙනුවෙන් සන්තෝෂම් දිය යුතු නැති නිසා මෙවැනි ස්ථාන වල බස් රථ නතර කෙරෙන්නේ ද නැත. මෙය අවධානය යොමු කළ යුතු කාරණයකි. දුරගමනාන්තයන්හි යෙදෙන බස් රථ තේ පානය කිරීම සඳහා නතර කිරීමට අනුමත කරන ලද ආපනශාලා පමණක් තෝරා ගත යුතුය. ඒ සඳහා කිසියම් විධිමත් වැඩ පිලිවෙලක් අවශ්‍ය වේ. එවැනි මගීන්ට අසාධාරණ ලෙස අධික මිලට බාල තත්වයේ අපිරිසිදු ආහාර විකුණන ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ නොදිය යුතුය. එවැනි දෙයක් සිදු නොවන්නේ නම් මගීන් විසින් පිරිසිදු ස්ථානයකින් ගමනේ යෙදීමට පෙර අහාර පාන මිලදී ගෙන ගමනේ යෙදෙන අතරතුර බඩගිනි වූ විට කෑමට ගැනීම විකල්පයක් ලෙස කළ හැකිය. නමුත් මෙය හැම විටම කල නොහැකි වේ. මුහුදු බඩ මාර්ගයේ ආපන ශාලා වල තත්වය මෙසේ බව එහි ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට තේරෙන දෙයකි. මෙය හුදෙක් මගීන්ට සිදුවන අපහසුතාවයක් බැවින් මේ තත්වයට මා හටද මුහුණ දීමට සිදුවු බැවින් මෙසේ ලිවීමට සිත් විය.